ජපානය කිව්වම අපේ ඔළුවට එන්නේ තත්පරයට වැඩ කරන Shinkansen කෝච්චි, කුණු රොදක්වත් නැති පිරිසිදු පාරවල් සහ ලෝකයේ තියෙන සුපිරිම තාක්ෂණය. මේ වගේ රටක සෞඛ්‍ය පද්ධතියත් ඒ වගේම 100% ක් පරිපූර්ණ ඇති කියලා ඕනෑම කෙනෙක්ට හිතෙනවා.පොතේ හැටියට නම් ඒක ඇත්ත. ඔවුන්ට Universal healthcare coverage එකක් තියෙනවා, බෙහෙත්වලට යන වියදම ගොඩක් අඩුයි, ඒ වගේම ලෝකයේ වැඩිම ආයු කාලයක් තියෙන මිනිස්සු ඉන්නෙත් ජපානයේ.හැබැයි, ජපානයේ ජීවත් වෙන විදේශිකයෙකුට හරි, ටුවරිස්ට් කෙනෙකුට හරි හදිසියකදී ජපානයේ රෝහලකට යන්න වුණොත්, ඒක ජීවිතයේ ලබන භයානකම අත්දැකීමක් වෙන්න පුළුවන්! ලෝකයේ දියුණුම රෝහල් පද්ධතියක් ඇතුළේ විදේශිකයෙක්ට මේ තරම් අපායගාමී අත්දැකීමක් ලැබෙන්නේ ඇයි? පිටින් පේන දිලිසෙන ටයිල්වලට යටින් තියෙන, දැඩි නීතිරීතිවලින් පිරුණු ජපාන සෞඛ්‍ය පද්ධතියේ ඇත්තම කතාව අද අපි සරලවම කතා කරමු!
ජපාන සෞඛ්‍ය අර්බුදය
බටහිර රටක හරි, ඇයි අපේ ලංකාවේ හරි හදිසි අනතුරක් වුණාම ඇම්බියුලන්ස් එකකට, 1990ට කතා කළොත්, එයාලා රෝගියාව අරගෙන කෙළින්ම ළඟම තියෙන Emergency room එකට යනවා. ඒ රෝහලට නීතියෙන් බැඳීමක් තියෙනවා ඒ රෝගියාව භාරගන්න. හැබැයි ජපානයේ සිස්ටම් එක ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්.
ජපානයේ තියෙනවා Kyuukyuu hansou konnan (Ambulance hospital rejection) කියලා මාරාන්තික ප්‍රශ්නයක්. ජපානයේ Paramedics ලට නීතිමය බලයක් නෑ රෝගියෙක්ව අරගෙන ගිහින් රෝහලකට බලෙන් ඇතුළත් කරන්න. ඇම්බියුලන්ස් එක ඔයාගේ ගෙදරට ආවාම, එයාලා ඔයාව වාහනේට දාගෙන වාහනේ පාර්ක් කරගෙන ඉන්නවා. ඊටපස්සේ එයාලා එකින් එක රෝහල්වලට කෝල් කරලා අහනවා “මේ වගේ රෝගියෙක් ඉන්නවා, ඇඳක් තියෙනවාද? අදාළ Specialist ඩොක්ටර් ඉන්නවාද?” කියලා.
සමහරවිට රෝහල් 3 කින්, 5 කින්, නැත්නම් 10 කින් විතර රෝගියාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. හිතලා බලන්න, තමන්ට හුස්ම ගන්න අමාරු වෙලා බයෙන් ගැහි ගැහී ඇම්බියුලන්ස් එකක් ඇතුළේ ඉද්දී, ඉස්සරහා ඉන්න Paramedics ලා රෝහල්වලට කෝල් කර කර රෝගියාව බාරගන්න කියලා අයදිනවා දකිද්දී දැනෙන හැඟීම! වටිනා කාලය විනාඩියෙන් විනාඩිය ගෙවිලා යද්දී, ජපානයේ තියෙනවා කියන ඒ “සුපිරි කාර්යක්ෂමතාවය” ගැන තියෙන විශ්වාසය එතැනදීම කුඩුපට්ටම් වෙලා යනවා.
මේක ගැන තියෙන දත්ත බැලුවාම ඇඟ හිරිවැටෙනවා. ගිනි සහ ආපදා කළමනාකරණ ඒජන්සියේ වාර්තාවකට අනුව, එක අවුරුද්දක් ඇතුළත ගිලන් රථවලින් ගෙනාපු රෝගීන් 16,000 කට වඩා, අඩුම තරමේ රෝහල් 3 කින්වත් කලින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා! රෝහල්වලින් මේකට දෙන හේතු වෙන්නේ “වෛද්‍යවරු කාර්යබහුලයි, ඇඳන් නෑ, අදාළ විශේෂඥ වෛද්‍යවරු නෑ” කියන එක.මේකේ දරුණුම ඛේදවාචකය වුණේ අවුරුදු 75 ක ජපන් ජාතිකයෙකුගේ මරණය. ඔහුට අමාරු වෙලා ගිලන් රථයෙන් ගෙනියද්දී, රෝහල් 25 කින් ඔහුව භාරගන්න බෑ කිව්වා! පැය 2 ක් ඇතුළත ඔහුගේ ගිලන් රථය 36 වතාවක් ප්‍රතික්ෂේප වුණා. අන්තිමේදී ඒ අහිංසක මනුස්සයා ගිලන් රථය ඇතුළෙම ප්‍රාණය අතහැරියා.රෝහල් මේ තරම් බාරගන්න බය ඇයි? මේකට හේතුව ජපානයේ තියෙන මෝඩ නීතියක්. රෝහලකට පහසුකම් නැතුව හරි, විශේෂඥ වෛද්‍යවරයෙක් නැතුව හරි රෝගියෙක්ව භාරගෙන, ඒ රෝගියා මැරුණොත් අදාළ වෛද්‍යවරයාට විරුද්ධව සාපරාධී චෝදනා එල්ල කරන්න පුළුවන්. මේ නිසා වෛද්‍යවරු රෝගියෙක්ව භාරගෙන රිස්ක් එකක් ගන්නවට වඩා, රෝගියාව ප්‍රතික්ෂේප කරලා ඇඟ බේරගන්නවා!
භාෂා බාධකය ජපාන සෞඛ්‍ය සහ හදිසි ප්‍රතිකාරවල ඇති බියජනක යථාර්ථය
කොහොමහරි ඇම්බියුලන්ස් එකකින් හරි, නැත්නම් සාමාන්‍ය විදිහට හරි රෝහලකට ඇතුළු වුණා කියමුකෝ. ඊළඟට එන ලොකුම ප්රශ්නය තමයි භාෂාව. ජපානයේ වෛද්‍යවරු ඉංග්‍රීසි පොත් පත්වලින් ඉගෙන ගන්න නිසා එයාලට ඉංග්‍රීසි වෛද්‍ය වචන ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හැබැයි රෝගියෙක් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්න පුළුවන් වෛද්‍යවරු, හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ජපානයේ හොයාගන්න මාරම අමාරුයි.
එක්තරා විදේශිකයෙක් ඇස්පනාපිට දැකපු අනතුරක් මේකට හොඳම උදාහරණයක්. කාන්තාවක් පදවගෙන ගිය කාර් එකක් අංශක 360 ක් දෙපාරක් කැරකිලා ගිහින් කණුවක හැප්පුණා. ඒ කාන්තාව ලොකු ෂොක් එකකින් හිටියේ. ඇම්බියුලන්ස් එක ආවාම එයාලා අර කාන්තාවගෙන් ඇහුවා “ඔයා හොඳින්ද?” කියලා. ෂොක් එකේ හිටපු ඇය “ඔව්” කිව්වාම, ගිලන් රථයේ අය කිසිම වෛද්‍ය පරීක්ෂණයක් කරන්නේ නැතුව එතැනින් යන්න ගියා! වටේ හිටපු අය කෑගහලා කිව්වත් ඇයව රෝහලට අරන් යන්න කියලා, පොලිසිය කිව්වේ “ඇම්බියුලන්ස් එකේ අය තීරණයක් ගත්තා නම් අපිට කරන්න දෙයක් නෑ” කියලා.තවත් විදේශිකයෙකුගේ යාළුවෙක්ගේ පෙනහළුවක් හැකිළිලා (Collapsed lung) රෝහලකට ගියාම, ඒක සිකුරාදා රෑක් වුණ නිසා රෝහල වහලා තිබුණා. එයා ගෙදර ගිහින් නිදාගත්තත්, රෑ හුස්ම හිරවුණා. අන්තිමේදී පෙම්වතිය CPR දීලා ඇම්බියුලන්ස් එකක් ගෙන්නගෙන තමයි වෙන රෝහලකට අරන් ගියේ. හදිසි ප්‍රතිකාර දෙනවා කියලා බෝඩ් ගහගෙන ඉන්න සමහර පුද්ගලික ක්ලිනික් පවා ඇලජික් එකක් ඇවිත් මැරෙන්න යන රෝගීන්ටවත් හරියට ප්‍රතිකාර කරන්නේ නෑ.
මේ ලෙඩක් සුව කරනවා කියන්නේ නිකම්ම බෙහෙත් දෙන එක නෙවෙයිනේ. රෝගියාට තමන්ගේ වේදනාව හරියටම විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම දෙන බෙහෙත්වල Side effects ගැන තේරුම් ගන්න ඕනේ. භාෂාව හරියට බැරි වුණාම මේ දේවල් සම්පූර්ණයෙන්ම අවුල් යනවා. ඒ මදිවට Surgery එකකට යද්දී අත්සන් කරන්න තියෙන Consent forms, රෝහලෙන් පිටවෙද්දී දෙන උපදෙස්, බිල ගෙවන Automated kiosks මේ ඔක්කොම තියෙන්නේ ජපන් භාෂාවෙන් විතරයි! තමන් අත්සන් කරන්නේ මොන වගේ ලියවිල්ලකටද කියලවත් නොදැන විදේශිකයන්ට ඒවාට අත්සන් කරන්න සිද්ධ වෙනවා. මේකෙන් රෝගියාගේ හිතේ ලොකු බයක් වගේම අවිශ්වාසයක් ඇතිවෙන එක සාධාරණයි.
මෑත ඉතිහාසයේ ජපානයේ වෙච්ච තව දරුණුම සිදුවීමක් තමයි යොකොහාමා වල තියෙන ඔගුචි රෝහලේ (Oguchi Hospital) කතාව. ඒ රෝහලේ හිටපු ජපන් ජාතික හෙදියක් වයසක රෝගීන්ට වස දීලා මරලා දාලා තිබුණා! මේක අහුවුණාට පස්සේ රෝහලට අලුත් රෝගීන් ගන්න එක නතර කළත්, පස්සේ එයාලා නම වෙනස් කරලා (Yokohama Hajime Hospital) ආයෙත් රෝහල පටන් ගත්තා!
මේක සාමාන්‍ය රෝහල්වලට විතරක් නෙවෙයි, ඉහළම තත්ත්වයේ තියෙන රෝහල්වලටත් පොදුයි. ජපානයේ ප්‍රධාන පෙළේ පර්යේෂණ රෝහල් දෙකක ලියාපදිංචිය වතාවක් තහනම් කළා, ඒ රෝහල්වල නොසැලකිල්ල නිසා රෝගීන් 10 දෙනෙක්ට ලේ විෂ වෙලා සහ අක්මාව අක්‍රිය වෙලා මැරුණ නිසා. මේ වගේ දේවල් වෙද්දී මේ සිස්ටම් එක “World-class” කියන්නේ කොහොමද?
‘Gatekeeping’ නීතිය සහ ඩිජිටල් තාක්ෂණයේ පසුගාමී බව
ජපානයේ රෝහල්වලට යද්දී තියෙන අනිත් ලොකුම නීතිය තමයි ‘Gatekeeping’ සිස්ටම් එක. ඔයාට හමේ පොඩි ගැටයක් අහුවුණාම හරි, හන්දි පත් රුදාවක් ආවාම හරි කෙළින්ම ගිහින් ලොකු රෝහලක Specialist කෙනෙක්ව හම්බවෙන්න බෑ. අනිවාර්යයෙන්ම මුලින්ම තමන්ගේ පැත්තේ තියෙන පොඩි ක්ලිනික් එකකට යන්න ඕනේ. ඒ ඩොක්ටර් හිතුවොත් විතරක් එයා ලොකු රෝහලට යන්න රෙකමදාරු කරලා ලියුමක් දෙනවා. මේකට කියන්නේ Shikaisho (Shoukaijou) කියලා. මේ ලියුම නැතුව ලොකු රෝහලකට ගියොත්, එක්කෝ ඔයාව හරවලා යවනවා, නැත්නම් ලොකු දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා.
මේකේ තියෙන ලොකුම විහිළුව තමයි ජපානය වගේ ලෝකයේ සුපිරිම තාක්ෂණයක් තියෙන රටක, රෝහල් අතරේ රෝගීන්ගේ ඩිජිටල් දත්ත හුවමාරු වෙන්නේ නැති එක! ඔයා පොඩි ක්ලිනික් එකකින් ලේ ටෙස්ට් එකක් කරලා, X-ray එකක් අරන් ලොකු රෝහලකට ගියොත්, ඒ ලොකු රෝහල අර කලින් කරපු රිපෝට්ස් භාරගන්න කැමති නෑ. එයාලා ආයෙත් මුල ඉඳන් ඒ ටෙස්ට් ඔක්කොම කරනවා. රෝගියා රෝහලක් මාරු කරන හැම වෙලාවෙම එයාගේ Medical history එක බිංදුවට වැටෙනවා. මේකට යන කාලය සහ සල්ලි අපරාදේ කියලා ඕනෑම කෙනෙක්ට තේරෙනවා.
පැය 3ක රස්තියාදුවෙන් පසු විනාඩි 3ක ප්‍රතිකාර
සාමාන්‍ය ලෙඩකට බෙහෙත් ගන්න ජපානයේ සාමාන්‍ය ක්ලිනික් එකකට ගියොත් ඔයාට අත්විඳින්න ලැබෙන ප්‍රසිද්ධම සංකල්පයක් තමයි “Three-hour wait for a three-minute meeting” කියන්නේ. ජපානයේ Universal healthcare සිස්ටම් එක නිසා ඕනෑම කෙනෙක්ට Appointment එකක් නැතුව වුණත් ක්ලිනික් එකකට යන්න පුළුවන්. ඒ නිසා මේ ක්ලිනික් හැමතිස්සෙම සෙනඟ පිරිලා තියෙන්නේ.විශේෂයෙන්ම ජපානයේ වයසක උදවිය මේ ක්ලිනික් පාවිච්චි කරන්නේ එයාලගේ යාළුවොත් එක්ක කතාබහ කර කර ඉන්න තියෙන සමාජ ශාලාවක් විදිහට! ක්ලිනික් එක අරින්නත් කලින් එයාලා ගිහින් ටිකට් එකක් අරන් ඉඳගන්නවා. ඉතින් ඇඟට පණ නැතුව උණ ගැනිලා යන තරුණ රෝගියෙක්ට වුණත් පැය 3 ක් විතර රස්තියාදු වෙලා, අන්තිමට ඩොක්ටර්ව හම්බවෙන්න ලැබෙන්නේ විනාඩි 3 කට විතරයි. එළියේ ඉන්න සෙනඟ නිසා ඩොක්ටර්ටත් රෝගියා එක්ක කතා කරලා හිත හදන්න වෙලාවක් නෑ. හරියට ෆැක්ටරියක බඩු පාස් කරනවා වගේ ඉක්මනින් බෙහෙත් ටික ලියලා දීලා රෝගියාව යවනවා. මේක විදේශිකයන්ට නම් මාරම කලකිරීමක් ගේන අත්දැකීමක්.
හිරගෙදරක් බඳු රෝහල් නීති, “Bring Your Own” සංස්කෘතිය සහ ඇපකරුවන්
ඔයාගේ ලෙඩේ බරපතළ වෙලා රෝහල් ගත වෙන්න සිද්ධ වුණොත්, ඊළඟ Culture shock එකට ලෑස්ති වෙන්න. බටහිර රටවල රෝහල්වලට වඩා ජපානයේ රෝහල්වල නීතිරීති හරියට හිරගෙදරක නීති වගේ. රෝගියෙක්ගේ නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.
රෝහලෙන් ඔයාට Time table එකක් දෙනවා. ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙලාව, කෑම දෙන වෙලාව (වෙලාවට කෑවේ නැත්නම් අරන් යනවා), සහ නාන්න පුළුවන් වෙලාව ඒකේ තියෙනවා. නාන්න දෙන්නේ විනාඩි 20 ක හරි 30 ක හරි රිසර්ව් කරපු වෙලාවකට විතරයි. ඒ වෙලාවට ඔයාට අමාරු වෙලා නාන්න බැරි වුණොත්, එදා දවසටම ආයෙත් නාන්න වෙන්නේ නෑ! ඒ වගේම රෑ 9 වෙද්දී මුළු වාට්ටුවේම ලයිට් නිවනවා. ලොකු මනුස්සයෙක්ට තමන්ගේ නිදහසේ ඉන්න නොදී මේ විදිහට ළමයෙක්ට වගේ සැලකීම විදේශිකයන්ට දරාගන්න අමාරුයි.
අනිත් පුදුම හිතෙන දේ තමයි “Bring Your Own” නීතිය. දියුණු රටවල රෝහලකට ගියාම ඇඳගන්න ඇඳුමේ ඉඳන් තුවා, ටිෂූ ඔක්කොම රෝහලෙන් දෙනවා. හැබැයි ජපානයේ රෝහලට ඇතුළත් වෙද්දී එයාලා ඔයාට ලිස්ට් එකක් දෙනවා ගෙදරින් ගේන්න ඕනේ දේවල් ගැන. ඔයාගේ පිජාමා එක, තුවා, සෙරෙප්පු, සබන් විතරක් නෙවෙයි, කෑම කන්න ඕනේ කරන චොප්ස්ටික්ස් සහ කෝප්ප පවා ඔයාම ගෙදරින් ගේන්න ඕනේ! අමාරුවෙන් ඉන්න ලෙඩෙක් රෝහලට යද්දී සූට්කේස් එකකුත් පැක් කරන් යන්න ඕනේ කිව්වාම ඒක කොච්චර විහිළුවක්ද? ලංකාවෙදිත් අපි මේවා ගෙනියන්න ඕන තමයි. ඒත් අඩුම තරමේ අපි දුප්පත් රටක්නේ!ඒ වගේම ජපානයේ වෛද්‍ය ක්‍රමය අනුව රෝගීන්ව ගොඩක් කල් රෝහලේ තියාගන්නවා. සාමාන්‍ය දරු ප්‍රසූතියකට පස්සේ බටහිර රටවල නම් පැය 24 න් හරි 48 න් හරි ගෙදර යවනවා. හැබැයි ජපානයේ අම්මලාව දවස් 5 ත් 7 ත් අතර කාලයක් රෝහලේ තියාගන්නවා. පොඩි සැත්කමකට පස්සේ වුණත් දවස් 3 ත් 5 ත් අතර කාලයක් ඉන්න වෙනවා. ඉක්මනින් ගෙදර ගිහින් තමන්ගේ නිදහසේ ඉන්න කැමති විදේශිකයන්ට මේක හරියට හිරේ වැටුණා වගේ හැඟීමක් ගේනවා.
මේ ඔක්කොම දේවල් අත්විඳින්න කලින්, රෝහලට ඇතුළත් වෙද්දී තියෙන ලොකුම බාධාව තමයි Guarantor කෙනෙක් ඉල්ලන එක. රෝහලෙන් ඉල්ලනවා ජපන් භාෂාව කතා කරන්න පුළුවන් හදිසි සම්බන්ධතා පුද්ගලයෙක්ව, නැත්නම් මූල්‍ය ඇපකාරයෙක්ව. මේ ඇපකාරයා අත්සන් කරලා පොරොන්දු වෙන්න ඕනේ රෝගියාට බිල ගෙවාගන්න බැරි වුණොත් එයා ඒක ගෙවනවා කියලා.
ඔයා ටුවරිස්ට් කෙනෙක්, ඉගෙන ගන්න ආපු කෙනෙක් හරි, අලුතින්ම ජපානයට ගිය කෙනෙක් හරි නම්, මේ වගේ අත්සන් කරන්න දන්න කියන කෙනෙක් හොයාගන්න එක මාරම අමාරු වැඩක්. ඔයා ගාව ලක්ෂ ගාණක Travel insurance එකක් තිබුණත්, ප්ලැටිනම් ක්‍රෙඩිට් කාඩ් එකක් තිබුණත් එයාලට වැඩක් නෑ. ලෝකල් කෙනෙක් අත්සන් කළේ නැත්නම් රෝහලෙන් ඔයාව දකින්නේ ලොකු මූල්‍ය අවදානමක් විදිහට. මේක විදේශිකයන්ට ගේන්නේ මාරම මානසික පීඩනයක්.
“Gaman” සංකල්පය, Micro-dosing සහ මානසික සෞඛ්‍යය නොසලකා හැරීම
ජපානයේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇතුළේ තියෙන ලොකුම වෙනස තමයි එයාලගේ සංස්කෘතික විශ්වාසයක් වෙන Gaman කියන සංකල්පය. ඒ කියන්නේ “අමාරු දේවල් ඉවසගෙන දරාගෙන ඉන්න එක”. මේ සංකල්පය රෝහල් ඇතුළටත් ඇවිත් තියෙනවා. ඒ නිසා වෛද්‍යවරු බලන්නේ බෙහෙත් දීලා වේදනාව සම්පූර්ණයෙන්ම නැති කරනවට වඩා, රෝගියාට ඒ වේදනාව ඉවසගෙන ඉන්න පුරුදු කරන්න.
මේක වඩාත්ම හොඳින් පේන්නේ දරු ප්‍රසූතියකදී. බටහිර රටවල වගේ වේදනාව නැති කරන Epidurals ජපානයේ දෙන්නේ හරිම කලාතුරකින්. සාමාන්‍ය විදිහට වේදනාව විඳගෙන දරුවා බිහිකරන එක මවයි දරුවයි අතර බැඳීම වැඩි කරනවා කියලා එයාලා විශ්වාස කරනවා. කෙනෙක්ට Epidural එකක් ඕනෙම නම් මාස ගාණකට කලින් බුක් කරලා, ලොකු ගාණක් ගෙවන්න ඕනේ. ඒත් ඉරිදා රෑක වගේ දරුවා හම්බවෙන්න ආවොත්, Anesthesiologists ලා (නිර්වින්දන වෛද්‍යවරු) නැති නිසා ඔයාට ඒක ලැබෙන්නේ නෑ.ඒ වගේම ලොකු සැත්කමකට පස්සේ හරි, දතක් ගැලෙව්වාට පස්සේ හරි ලෝකයේ අනිත් රටවල ප්‍රබල වේදනා නාශක දෙනවා. හැබැයි ජපානයේ තියෙන දැඩි නීති නිසා ඔයාට දෙන්නේ සාමාන්‍ය Paracetamol හරි Ibuprofen හරි ටිකක් විතරයි. වේදනාවෙන් කෑගැහුවත් ඔයාට ඊට වඩා ප්‍රබල බෙහෙත් දෙන්න වෛද්‍යවරු නීතියෙන් බැඳිලා නෑ වගේම ඔවුන් ඒකට කැමතිත් නෑ.බෙහෙත් දෙනකොටත්, විදේශිකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි “Micro-dosing” කියන්නේ. ජපානයේ වෛද්‍යවරු බෙහෙත් මාත්‍රා තීරණය කරන්නේ ජපන් ජාතිකයින්ගේ ඇඟේ බර සහ ජානමය ලක්ෂණ අනුව. ඉතින් රාත්තල් 190 ක් බර සුදු ජාතිකයෙක්ට ලැබෙන්නෙත්, රාත්තල් 100 ක් බර ජපන් ආච්චි කෙනෙක්ට ලැබෙන ඩෝස් එකමයි! මේ නිසා ගොඩක් වෙලාවට විදේශිකයන්ගේ ලෙඩේ සුව වෙන්නේ නෑ.
ඒ වගේම බෙහෙත් තුණ්ඩුව දෙන්නේ උපරිම දවස් 14 කට හරි 28 කට හරි විතරයි. බටහිර රටවල වගේ මාස 3 කට බෙහෙත් ලියලා දෙන්නේ නෑ. ඒ කියන්නේ Pressure එක වගේ දිගටම තියෙන ලෙඩක් තියෙන කෙනෙක්ට, හැම සති දෙක තුනකට සැරයක්ම නිවාඩු දාලා ගිහින් අර ‘පැය 3 ක රස්තියාදුව’ කාලා බෙහෙත් ටික අරන් එන්න සිද්ධ වෙනවා.
දියුණු වෛද්‍ය පද්ධතිවල ශාරීරික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය කියන දෙකම එකට බැඳිලා තියෙන්නේ. ලොකු ලෙඩක් හැදුණාම ඒකෙන් එන මානසික පීඩනයටත් ප්‍රතිකාර කරනවා. හැබැයි ජපානයේ General රෝහල්වල මේ දෙක සම්පූර්ණයෙන්ම වෙන් කරලයි තියෙන්නේ.
කෙනෙක්ට පිළිකාවක් වගේ ලොකු රෝගයක් හැදිලා එයා මානසිකව වැටුණොත්, ඒ පිළිකා වෛද්‍යවරයා කවදාවත් මානසික වෛද්‍යවරයෙක්ට රෝගියාව යොමු කරන්නේ නෑ. රෝගියාම වෙනමම Psychiatric ක්ලිනික් එකක් හොයාගෙන, අලුතින්ම රෙෆරල් හදාගෙන මුල ඉඳන් පටන් ගන්න ඕනේ. ජපාන සමාජයේ මානසික රෝග ගැන තියෙන යම්කිසි පසුගාමී ආකල්පය නිසා මේ විදිහට රෝගීන්ව මානසිකව තනි කරන එක ඇත්තටම ඛේදවාචකයක්.
සැබෑ “World-Class” සේවාවක්ද? මනුස්සකම යටපත් වූ පද්ධතියක්ද?
ජපන් ජාතිකයින්ට නම් මේ සිස්ටම් එක මාරම සාර්ථකයි. මේකෙන් වියදම අඩුවෙනවා, අනවශ්‍ය විදිහට සැර බෙහෙත් ලියන එක නැතිවෙනවා, වයසක උදවියව රෝහල්වල හොඳින් බලාගන්නවා.
හැබැයි රෝගියෙක්ව රෝහල් 25 කින් 36 වතාවක් ප්‍රතික්ෂේප කරලා අන්තිමේදී ගිලන් රථය ඇතුළෙම මැරෙන්න අරින සිස්ටම් එකක් කවදාවත් ‘World-class’ වෙන්නේ නෑ. රෝහල ඇතුළෙම හෙදියක් විසින් රෝගීන්ට වස දීලා මරනකන් දන්නේ නැති සිස්ටම් එකක් කවදාවත් පරිපූර්ණ වෙන්නේ නෑ. මතකනේ ලංකාවේ විශ්මා නගෝයා වලදි ඇඳෙන් වැටිලා පැය 3 ක් ඇතුළත 23 වතාවක් කෑගහලා උදව් ඉල්ලද්දීත්, බ්ලැන්කට් එකකින් වහලා මැරෙන්න අරින සිස්ටම් එකක් මනුස්සකමක් තියෙන එකක් වෙන්නේ නෑ!ජපානයේ දැවැන්ත රෝහල්වල දිලිසෙන ටයිල්වලට යටින් තියෙන්නේ, නීතියට බයේ ගැහෙන, රෝගීන්ගේ ජීවිතයට වඩා ආයතනයේ නම රැකගන්න දඟලන කුරිරු නිලධාරිවාදයක්. මේ කුණු වෙච්ච සිස්ටම් එක වෙනස් කරනකන්, ජපානයේදී ලෙඩ වෙනවා කියන්නේ ජීවිතයත් මරණයත් අතර කරන මාරාන්තික සූදුවක් කියන එක අනිවාර්යයි!
ඇම්බියුලන්ස් එකෙන් ප්‍රතික්ෂේප කිරීම, භාෂාවේ තියෙන ප්‍රහේලිකා, රෝහලේ තියෙන ළදරු නීති, සහ “වේදනාව දරාගන්න” කියන සංකල්පය නිසා මේක නිකන්ම ලෙඩක් නෙවෙයි භයානක හීනයක් බවට පත්වෙනවා. මේ සිස්ටම් එක ඩිජිටල් තාක්ෂණයෙන් දියුණු වෙලා, ජාත්‍යන්තර රෝගීන්ට ගැළපෙන විදිහට වෙනස් වෙනකන්, ජපානයේදී ලෙඩක් හැදෙනවා කියන්නේ ලෙඩේටත් වඩා භයානක අත්දැකීමක් විදිහටයි විදේශිකයන් දකින්නේ.
ඔබට හිතෙන දේ කියන්න!
ලෝකයේ දියුණුම රටක් වුණත්, ජපානයේ මේ තියෙන දැඩි නීතිරීති සහ පරණ සම්ප්‍රදායන් නිසා සාමාන්‍ය මිනිස්සුන්ට වෙන කරදරය ගැන ඔයා මොකද හිතන්නේ? අපේ ලංකාවේ රෝහල්වල කොච්චර අඩුපාඩු තිබුණත්, හදිසි අනතුරක් වුණාම රෝහලකින් රෝගියෙක්ව බාරගන්නේ නෑ කියලා පාරට දාන්නේ නෑ නේද? පල්ලෙහායින් කමෙන්ට් කරලා අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස කියන්න!
උපුටාගැනීම – විශ්ම ලෝකය
ජපානයේදී මිය ගිය නයෝමිචං – Nayomichan ගැන කියවන්න – https://knews.lk/nayomichan-unexpected-death-japan-sri-lankan-woman/





Pingback: nayomichanගේ අනපේක්ෂිත සමුගැනීම : ජපානයේ ලාංකික යුවතියගේ කතාව